කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ට කෝවිඩ්19 වසංගතයෙන් වන ආර්ථික බලපෑම

2020 ජුලි මස පස්වන දින වන විට කටාර් රාජ්‍යයේ කොවිඩ්19 රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යාමත් සමඟ ගල්ෆ් කලාපයේ දෙවන වැඩිම කෝවිඩ්19 රෝගීන් සංඛ්‍යාව මෙන්ම ලොව වැඩිම ඒක පුද්ගල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඇති රට බවටත් කටාර් රාජ්‍යය පත් විය. කටාර් රජය විසින් පුළුල් ලෙස සිදු කරන සම්බන්ධිතයින් හඳුනා ගැනීමේ සහ PCR පරීක්ෂණ පැවැත්වීමේ වැඩපිළිවෙළ එරට මරණ අනුපාතය 0.1% ට වඩා අඩු මට්ටමක තබා ගැනීමට උපකාරී වුවත්,  කටාර්හි ආර්ථිකය මෙම  වසංගතය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ව ඇත. කටාර් ආර්ථිකය 2020 දී  4.3% කින් පමණ හැකිලෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමාන කරන අතර එම රට කොවිඩ්19 වසංගතයෙන් මැද පෙරදිග දැඩි ලෙසම හානියට පත් ආර්ථිකයන්ගෙන් එකක් වනු ඇත.

කටාර් රාජ්‍යයේ කොවිඩ්19 වසංගතයේ පැතිරීම නිසා එරට ආර්ථිකයේ සිදුවන පසුබෑම ශ්‍රී ලංකාවට සැලකිය යුතු මූල්‍යමය බලපෑම් ඇති කරනු ඇත. මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සංක්‍රමණිකයන්ගේ ප්‍රධානම ගමනාන්ත තුනෙන් එකක් වන කටාර් රාජ්‍යය වෙත 2010 සිට 2017 දක්වා කාලය තුළ දළ වශයෙන් 64,000 ක් පමණ ශ්‍රී ලාංකිකයින් පිටත්ව ගොස් ඇත. කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව, 2018 වන විට ශ්‍රී ලාංකිකයන් 140,000 කට ආසන්න ප්‍රමාණයක් කටාර්හි වාසය කර ඇති අතර මෙම කුඩා ගල්ෆ් රට ශ්‍රී ලංකාවට ප්‍රේෂණ එවන ප්‍රධානතම රටවල් පහෙන් එකක් වේ. 2017 වසරේදී පමණක්  කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 508.4 ක ප්‍රේෂණ ශ්‍රී ලංකාව වෙත එවා ඇත. එබැවින්, කොවිඩ්19 වසංගතයෙන් කටාර් රාජ්‍යයට වන බලපෑම කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොව, ශ්‍රී ලංකාවේ වෙසෙන ඔවුන්ගේ පවුල්වලට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද විශාල වශයෙන් බලපානු ඇති අතර මෙම ලිපියේ අරමුණ මෙම ආර්ථික බලපෑම අධ්‍යනය කිරීමයි.1

මෙම ලිපිය පදනම් වී ඇත්තේ 2020 ජුනි මස 3 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලද සමීක්ෂණයක් මත ය. මෙම අධ්‍යයනයේ නියැදිය ලෙස දැනට කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 101 ක් යොදා ගෙන ඇති අතර එයට ඉහළ නිපුණතා සහිත ශ්‍රමිකයින් (highly-skilled workers) 78 ක්, නිපුණතා ඇති ශ්‍රමිකයින් (skilled workers) නවයක් සහ අර්ධ නිපුණතා ඇති ශ්‍රමිකයන් (semi-skilled) 14 ක් ඇතුළත් වේ.2 ප්‍රතිචාර දැක්වූ අයගෙන් 82% ක් පිරිමින් වන අතර 18% ක් කාන්තාවන් වේ. ප්‍රතිචාර දැක්වූවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 36 කි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් විවාහක වන අතර ඔවුන්ගේ පවුල් ඔවුන් සමඟ කටාර්හි (57.4%) හෝ ශ්‍රී ලංකාවේ (30.7%) වාසය කරති. සෙසු අය තනිකඩ, දික්කසාද වූ හෝ වෙන් වූ අය වෙති.

මේ වන විට කටාර්හි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුහුණ දෙන මූල්‍ය ගැටලු

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 67% කියා සිටියේ කොවිඩ්19 හි ප්‍රතිඵලයක් ලෙස තමන් දැනට මූල්‍යමය ගැට‍ළු එකකට හෝ ඊට වැඩි ගණනකට මුහුණ දී ඇති බවයි (රූපය 1). ඒ අතර, වාර්තා වී ඇති වඩාත් පොදු ගැටළුව වන්නේ වැටුප් කප්පාදුවයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 50% කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය මාස කිහිපය තුළ වැටුප් කප්පාදුන්ට මුහුණ දී ඇති බව ප්‍රකාශ කළහ. සෙසු ගැට‍ළු වන්නේ ඉතිරුම් අහිමි වීම (24.7%), ණය ආපසු ගෙවීමට අපහසු වීම (20.6%), වැටුප් ගෙවීම් ප්‍රමාද වීම (19.6%), ශ්‍රී ලංකාවට මුදල් යැවීමට අපහසු වීම (16.5%), නිවාස කුලිය දරා ගැනීමට අපහසු වීම (12.4%) ), රැකියා අහිමිවීම (9.3%), බෝනස් අහිමි වීම (9.3%), ආහාර හා වෙනත් වියදම් දැරීමට අපහසු වීම (9.3%) සහ පාරිතෝෂික ගෙවීම් අහිමි වීම (2.1%) යන ඒවා ය.

Sinhala 1_JPG

නිපුණතා මට්ටම අනුව අත්විඳින මූල්‍ය දුෂ්කරතාවේ ස්වභාවයේ සහ මට්ටමේ සැලකිය යුතු වෙනස්කම් දැකිය හැක. වසංගතය හේතුවෙන් තමන් තවමත් කිසිඳු මූල්‍ය දුෂ්කරතාවයකට මුහුණ දී නොමැති බව ඉහළ නිපුණතා සහිත ශ්‍රමිකයින්ගෙන් 39% ක් ප්‍රකාශ කර ඇතත්, එසේ සඳහන් කල පුහුණු ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය 11% ක් සහ අර්ධ පුහුණු ශ්‍රමිකයින්ගේ ප්‍රතිශතය 14% ක් වේ. (රූපය 2).

Sinhala 2JPG

වසංගතය හේතුවෙන් උද්ගත වී ඇති ආර්ථික අපහසුතා නිසා ශ්‍රී ලංකාවට මුදල් යැවීම, ලබා ගත් ණය ආපසු ගෙවීම සහ ආහාර හා අනෙකුත් වියදම් කළමනාකරණය කිරීමේදී අර්ධ නිපුණතා ඇති කම්කරුවන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබේ. ඉහළ නිපුණතා ඇති ශ්‍රමිකයින් හා සසඳන විට නිපුණ සහ අර්ධ නිපුණ ශ්‍රමිකයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් වසංගතය හේතුවෙන් වැටුප් කප්පාදුන්ට, රැකියා අහිමිවීම් වලට, ඉතුරුම් හා ප්‍රසාද දීමනා අහිමි වීම් වලට මුහුණ දී ඇත. අනෙක් අතට, නිපුණ සහ අර්ධ නිපුණ ශ්‍රමිකයින්ට වඩා ඉහළ නිපුණතා ඇති ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පාරිතෝෂික ගෙවීම් අහිමි වලට හා නිවාස කුලී ගෙවීමේ අපහසුතාවයන්ට මුහුණ දී තිබේ.

අර්ධ නිපුණතා ඇති ශ්‍රමිකයින්ගෙන් සැලකිය යුතු පිරිසකට ලංකාවට මුදල් යැවීමේ දුෂ්කරතාවයන්ට මුහුණ  දීමට හේතු වුයේ  2020 මාර්තු 26 සිට මැයි 11 දක්වා වසංගතය මැඩලීමේ පියවරක් ලෙස කටාර්හි සියලුම පුද්ගලික මුදල් හුවමාරු කිරීමේ කාර්යාල වසා දැමීම විය හැකිය. මෙනිසා, නිපුණ හා ඉහළ නිපුණතා සහිත ශ්‍රමිකයින්ට සාපේක්ෂව, අර්ධ නිපුණතා ඇති ශ්‍රමිකයින්ට අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාවට මුදල් යැවීමට ඇති ක්‍රම භාවිතා කිරීමට ප්‍රවේශයක් හා තාක්‍ෂණික දැනුමක් නොමැති වීම නිසා දුෂ්කරතාවන්ට මුහුණ  දීමට සිදු වන්නට ඇත.

කටාර්හි වෙසෙන නිපුණ හා ඉහළ නිපුණතා ඇති  ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සාපේක්ෂව අර්ධ නිපුණතා ඇති සේවකයින් ණය බරින් වැඩි පීඩනයකට ලක්ව සිටිති. පොදුවේ ගත් කල, ඉහළ නිපුණතා ඇති හා නිපුණ ශ්‍රමිකයින්ට වඩා අර්ධ නිපුණ ශ්‍රමිකයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් ණය ආපසු ගෙවීමේ අරමුණින් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යති. එමෙන්ම, අර්ධ නිපුණ ශ්‍රමිකයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් සංක්‍රමණ ක්‍රියාවලිය සඳහා මුදල් ණයට ලබා ගැනීමට පෙළඹී ඇත. එපමණක් නොව, සමහර අර්ධ නිපුණතා ඇති ශ්‍රමිකයින් කටාර් රාජ්‍යයට සංක්‍රමණය වීමෙන් අනතුරුව ආරම්භක මාස වල වැටුපෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැය කරන්නේ ඔවුන්ගේ ණය ආපසු ගෙවීම සඳහායි. එබැවින් ප්‍රසාද දීමනා අහිමි වීමක් හෝ කුඩා වැටුප් කප්පාදුවක් වුවද ඔවුන්ට දැඩි ලෙස  බලපෑ හැකි අතර එමගින් කටාර්හි ජීවන වියදම දැරිය නොහැකි තත්වයකට පත් කල හැක.

අනෙක් අතට, නිපුණ හා අර්ධ නිපුණ සේවකයින්ට වඩා ඉහළ නිපුණතාවයකින් යුත් ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පාරිතෝෂික අහිමි වීම වලට හා කුලී ගෙවීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇත. ඉහළ නිපුණතා ඇති සේවකයින් වැඩි පිරිසක් පාරිතෝෂික අහිමි වීම වලට මුහුණ දීමට හේතු විය හැක්කේ ඉහළ නිපුණතා ඇති ශ්‍රමිකයින් සඳහා පාරිතෝෂික ලෙස ගෙවිය යුතු මුදල නිපුණ සහ අර්ධ නිපුණ ශ්‍රමිකයින් සඳහා ගෙවිය යුතු මුදලට වඩා බෙහෙවින් වැඩි බැවින් මුදල් ප්‍රවාහ ගැටළු අත්විඳින සමාගම් ඉහළ නිපුණතා ඇති ශ්‍රමිකයින්ගේ පාරිතෝෂික ගෙවීම් ප්‍රමාද කිරීම හෝ තාවකාලිකව අවලංගු කිරීමය. තවද ඉහළ නිපුණතා ඇති ශ්‍රමිකයින් මුහුණ දෙන කුලී ගැටළු වලට ඔවුන් වාසය කරන නවාතැන් වල කුලී ගිවිසුම්වල ස්වභාවයද හේතු විය හැක. සාමාන්‍යයෙන්, කටාර්හි ඉහළ නිපුණතා ඇති ශ්‍රමිකයින් කොන්ත්‍රාත්තු ක්‍රමයට නිවාස සංකීර්ණවල වාසය කරන අතර, වැටුප් කප්පාදුවලට හා වැටුප් ගෙවීම් ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදු වුවත් කොන්ත්‍රාත් ගිවිසුම් වලට අනුව කෙටි දැනුම් දීමකින් එම නිවාස වලින් ඉවත්ව යා නොහැක. එනමුත්, අර්ධ නිපුණතා සහ නිපුණතා ඇති ශ්‍රමිකයින් සාමාන්‍යයෙන් ඔවුන් සේවය කරන සමාගම් විසින් ලබාදෙන නවාතැන් වල හෝ කෙටි දැනුම් දීමකින් පිටත්ව යාහැකි ආකාරයේ ගිවිසුම් සහිත නවාතැන් වල රැඳී සිටින හෙයින් ඉහළ නිපුණතා ඇති ශ්‍රමිකයන්ට සාපේක්ෂව ඔවුන් මුහුණදෙන කුලී ගෙවීම් පිළිබඳ ගැටළු අවම වේ.

කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉදිරි මාස වලදී මුහුණ දීමට සිදු වෙතැයි අපේක්ෂා කරන මූල්‍ය ගැටළු

කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉදිරි මාසවලදී ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරති (රූපය 3). ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 93% ක් විශ්වාස කරන්නේ වසංගතය නිසා නුදුරු අනාගතයේ දී කිසියම් මූල්‍ය දුෂ්කරතාවයකට ඔවුනට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. වර්තමන්යේ මෙන්ම, ඉදිරි මාසවලදීත් බහුලව උද්ගත විය හැකි යයි අපේක්‍ෂා කරන පොදු මූල්‍ය ගැටළුව වන්නේ වැටුප් කප්පාදුවයි. ප්‍රතිචාර දැක්වූ වන්ගෙන් 54% ක් ඉදිරි මාස වලදී ඔවුන්ගේ වැටුප් කප්පාදු කරනු ඇතැයි අපේක්ෂා කරති. වර්තමානයේ මුහුණ දෙන සහ අනාගතයේ මුහුණ දීමට සිදු වෙතැයි අපේක්ෂිත මූල්‍ය දුෂ්කරතා අතර වඩාත්ම සැලකිය යුතු වෙනස ඇත්තේ පාරිතෝෂික ගෙවීම් සම්බන්ධවයි. දැනට පාරිතෝෂික ගෙවීම් අහිමි වී ඇති ප්‍රතිශතය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 2%ක් වන අතර ඉදිරි මාස කිහිපය තුළ පාරිතෝෂික ගෙවීම් අහිමි වෙතැයි විශ්වාස කරන පිරිස 22%ක් වේ.

වර්තමානයේ මුහුණ දෙන සහ අනාගතයේ මුහුණ දීමට සිදු වෙතැයි අපේක්ෂිත මූල්‍ය දුෂ්කරතා අතර මීලගට සැලකිය යුතු වෙනසක් ඇත්තේ රැකියාවේ සුරක්ෂිත භාවය සම්බන්ධවයි. ප්‍රතිචාර දැක්වූ වන් ගෙන් 9%කට මේ වන විටත් රැකියාව අහිමි වී ඇති අතර තවත් 42% ක් ඉදිරි මාස වලදී රැකියාව අහිමි වෙතැයි බියෙන් පසු වෙති. එමෙන්ම, රැකියාව අහිමි වීම යනු වැටුප් කප්පාදු කිරීම් වලට පසුව නුදුරු අනාගතයේ දී  මුහුණ දීමට වෙතැයි අපේක්ෂා කරන අනෙක් ප්‍රධානතම මූල්‍ය ගැටළුවයි. සැලකිය යුතු ප්‍රතිශතයකින් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන අනෙක් මූල්‍ය ගැටළු වන්නේ බෝනස් නැතිවීම සහ වැටුප් ගෙවීම් ප්‍රමාද වීමයි. ණය ආපසු ගෙවීමට අපහසු වීම, ශ්‍රී ලංකාවට මුදල් යැවීමට අපහසු වීම සහ ආහාර සහ වෙනත් වියදම් දැරීමට අපහසු වීම වැනි මූල්‍යමය ගැටලු ද නරක අතට හැරෙනු ඇතැයි ප්‍රතිචාර දැක්වූ වන් අපේක්ෂා කරන නමුත් ඒ සුළු ප්‍රතිශතයකින් පමණි.

Sinhala 3

ඉහත සාකච්ඡා කළ පරිදි, කටාර්හි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් දැනට මුහුණ දී සිටින සහ ඉදිරි මාසවලදී මුහුණ දෙනු ඇතැයි අපේක්‍ෂා කරන ප්‍රධානතම මූල්‍ය ගැටළුව වන්නේ වැටුප් කප්පදුවයි. දැනට වැටුප් කප්පාදුවකට මුහුණ දී සිටින සහ නුදුරු අනාගතයේ වැටුප් කප්පාදුවකට මුහුණ දෙනු ඇතැයි අපේක්‍ෂා කරන ප්‍රතිචාර දැක්වූවන් (N = 63) අතර, 50% ක් කියා සිටියේ වැටුප් කප්පාදුව 11% -30% අතර වන බවයි  (රූපය 4). පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් කප්පාදු කරන ප්‍රතිශතය නිශ්චිතව නොදැන සිටි අතර සියයට නවයක් ප්‍රකාශ කලේ වැටුප් කප්පාදුව 10%ට අඩු බවයි. තවත් සියයට නවයක් පවසා සිටියේ වැටුප් කප්පාදුව 41%-50%ත් අතර වෙන බවයි. එමෙන්ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට අටකට ආසන්න ප්‍රමාණයකගේ වැටුප් කප්පාදුව 31% -40% ත් අතර වේ. 50% ට වඩා වැඩි වැටුප් කප්පාදුවකට දැනට මුහුණ දෙන හෝ නුදුරු අනාගතයේ මුහුණ දීමට සිදු වනු ඇතැයි අපේක්ෂා කරන්නේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට පහක් පමණි.

Sinhala 4

දැනට වැටුප් කප්පාදුවකට මුහුණ දී සිටින හෝ ඉදිරි මාසවලදී වැටුප් කප්පාදුවකට මුහුණ දීමට සිදු වෙතැයි අපේක්‍ෂා කරන අයගෙන් සියයට තුනක් පමණක් තම සේවායෝජකයින් විසින් කප්පාදු කරන ලද වැටුප් ආපසු ගෙවනු ඇති බව විශ්වාස කරති. බහුතරයක් (52%) කප්පාදු කරන ලද වැටුප් ආපසු ලබා දෙනු ඇතැයි නොසිතන අතර 45% ක් තමන් සේවය කරන සමාගම් වසංගතය පිටු දැකීමෙන් පසු කප්පාදු කරන ලද වැටුප් ආපසු ලබා දෙනු ඇත්දැයි නිසි වශයෙන් නොදනී.

ශ්‍රී ලංකාවට යවන ප්‍රේෂණ මුදල්

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් (N= 101) පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කළ මුදල් ප්‍රමාණය අඩු කළ බව ප්‍රකාශ කළ අතර 31% ක් කියා සිටියේ ශ්‍රී ලංකාවට යවන ලද මුදල් ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදු නොකළ බවයි. (රූපය 5). ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන ලද මුදල් ප්‍රමාණය වැඩි කළ බව ප්‍රකාශ කළේ 16% ක් පමණි. එසේ ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන මුදල් ප්‍රමාණය වැඩි කළ සියලු දෙනා ඉහළ නිපුණතා ඇති ශ්‍රමිකයින් වන අතර නිපුණ හා අර්ධ නිපුණ ශ්‍රමිකයන් ඔවුන් විසින් ශ්‍රී ලංකාවට යවන මුදල් ප්‍රමාණය එක්කෝ අඩු කර හෝ නැතිනම් කිසිඳු වෙනසක් නොකර ඇත.

Sinhala 5

ශ්‍රී ලංකාවට යවන ලද මුදල් ප්‍රමාණය අඩු කල පිරිස (N= 54) ඒ සඳහා ඔවුන්ට  මුල් වූ ප්‍රධානතම හේතුව ලෙස දැක්වූයේ වැටුප් කප්පාදුව (55.6%) ය. මිට අමතරව වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන සමස්ත ආර්ථික අවිනිශ්චිතතාවයන් (38.9%), ඉදිරි මාස කිහිපය තුළ වැටුප් කප්පාදුවකට මුහුණ දීමට ඇති ඉඩ (33.3%) රැකියාව අහිමි වීමට ඇති හැකියාව (24.1%), මුදල් හුවමාරු කාර්යාල තාවකාලිකව වසා දැමීම (14.8%) සහ රැකියාව අහිමි වීම (9.3%) යන කරුණු ද ශ්‍රී ලංකාවට ප්‍රේෂණය අඩු කිරීමට හේතු වී ඇත.

අනෙක් අතට, ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරන මුදල් ප්‍රමාණය වැඩි කළ පිරිස (N = 16) එසේ කිරීමට ප්‍රධානතම හේතුව ලෙස දැක්වූයේ වසංගතය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ මිතුරන් සහ පවුලේ සාමාජිකයින්ට සහාය වීමයි (87.5%). මිට අමතරව ශ්‍රී ලංකාවට ප්‍රේෂණ වැඩි කිරීමට හේතු වූ අනෙක් කාරණාව වුයේ ඉදිරි මාසවලදී  රැකියාව අහිමි වීමට ඇති හැකියාව නිසා ඉතුරුම් ප්‍රමාණය වැඩි කිරීමය. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අඩු වීමේ ගැටලුව විසඳීම සඳහා විදේශ මුදල් තැන්පතු සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් කරන ලද ඉල්ලීම (12.5%), අගුලුදැමීම ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ බැංකු විසින් විදේශ විනිමය සඳහා ලබා දුන් ඉහළ පොලී අනුපාතිකය (6.3%), සහ නිවසේ සිට වැඩ කිරීම හේතුවෙන් කටාර්හි ජිවන වියදම් අඩුවීම ද (6.3%) ප්‍රේෂණ වැඩි කිරීම කෙරෙහි බලපාන ලදී.

කටාර්හි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ අනාගත සැලසුම්

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 28% කට ආසන්න සංඛ්‍යාවක් (N = 101) නුදුරු අනාගතයේ දී ස්ථිර පදිංචියට ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති අතර 51% ක් තවමත් තීරණයක් ගෙන නොමැත. ඉදිරි මාසවලදී නැවත ශ්‍රී ලංකාවට ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන්නේ නැති බවට විශ්වාසය ඇත්තේ 22% කට පමණි.

ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අයගෙන් (N = 28), තමන්ගේ පැමිණීම කොවිඩ්19 හා සම්බන්ධ නොවන බව ප්‍රකාශ කර ඇත්තේ 29% ක් පමණි (රූපය 6). 58% ක් පවසා ඇත්තේ කාලයක් තිස්සේ නැවත ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණීමට සැලසුම් කර තිබූ නමුත් වසංගතය හේතුවෙන් ඔවුන්ගේ සැලසුම් වේගවත් කිරීමට තීරණය කර ඇති බවයි. එමෙන්ම කටාර්හි දිගටම රැඳී සිටියහොත් තමන් කොවිඩ්19 ආසාදනය වේ යැයි බියෙන් 7% ක් ලංකාවට ආපසු පැමිණීමට අපේක්ෂා කරන අතර 3.5% ක් රැකියා අහිමිවීම නිසා ආපසු පැමිණීමට අපේක්ෂාවෙන් සිටී.

රැකියා අහිමි වීම හෝ රැකියා ගිවිසුම් දීර්ඝ නොකිරීම (N = 9) යන තත්වයන්ට මුහුණපා ඇති අයගෙන් තුනෙන් එකක් පමණක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති අතර දළ වශයෙන් 44% ක් කටාර්හි තවදුරටත් රැඳී සිටිමින්ම වෙනත් රැකියාවක් සොයා ගැනීමට සැලසුම් කර ඇත.

Sinhala 6_JPG

සාරාංශය

කටාර්හි කොවිඩ්19  වසංගත ව්‍යාප්තියත් සමග උද්ගතවී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මූල්‍ය අභියෝග රැසකට මුහුණ දී සිටිති. මෙම සංක්‍රමණිකයින්ට මුහුණදීමට ඇති විවිධ මූල්‍ය ගැටළු අතර, වැටුප් කප්පාදුව සියලුම නිපුණතා මට්ටම් වල ශ්‍රමිකයින් අතර වඩාත්ම සුලභව පවතින ගැටලුව වන අතර සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් වැටුප් කප්පාදුන්ට මුහුණ දී ඇති බව ප්‍රකාශ කළහ. මේ වන විට, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 10% කටත් වඩා අඩු සංඛ්‍යාවක් රැකියා අහිමිවීම් අත්විඳ ඇති නමුත්, ඉදිරි මාසවලදී මෙම අගය තවත් ඉහළ යනු ඇත. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 42% ක් නුදුරු අනාගතයේ දී ඔවුන් සේවයෙන් පහ කරනු ඇතැයි විශ්වාස කිරීමම මේ තත්වයේ බැරෑරුම් බව තහවුරු කරයි. මෙම වසංගතය හමුවේ අර්ධ නිපුණ ශ්‍රමිකයින් අනෙක් නිපුණතා මට්ටම් වල ශ්‍රමිකයින්ට වඩා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර, ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දැනටමත් ණය පියවීමේ සහ ආහාර ඇතුළු අනෙකුත් මූලික අවශ්‍යතා සලසා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී.

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුහුණ දෙන වැටුප් කප්පාදු, රැකියා අහිමි වීම්, වසංගතය විසින් ඇති කරන ලද සමස්ත ආර්ථික අවිනිශ්චිතතාවයන් සහ කටාර්හි  මුදල් හුවමාරු සේවා ස්ථාන තාවකාලිකව වසා දැමීම පසුගිය මාස කිහිපය තුළ කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන ප්‍රේෂණ අඩු කිරීමට හේතු වී තිබේ. මේ වන විට කටාර්හි මුදල් හුවමාරු සේවා ස්ථාන මහජනයා සඳහා විවෘතව පැවතුනද, සේවකයන්ට තවදුරටත් රැකියා අහිමිවීම් හා වැටුප් කප්පාදු කිරීම් වලට මුහුණ දීමට සිදු වන්නේ නම් ප්‍රේෂණ අඩුවීම දිගටම පවතිනු ඇත. එසේම, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් බොහෝ දුරට වසංගත ආශ්‍රිත හේතූන් නිසා කටාර් රාජ්‍යයෙන් පිටවීමේ සැලසුම් වේගවත් කරමින් සිටින අතර, එම නිසා කටාර් සිට ශ්‍රී ලංකාවට එවන ප්‍රේෂණ අඩු වීම ඉදිරි මාසවලදී උග්‍ර විය හැකිය. මෙය ශ්‍රී ලංකාවේ වෙසෙන එම ශ්‍රමිකයින්ගේ යැපෙන්නන්ට හා සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇත.

සටහන්

1 මෙම ලිපිය කතුවරුන් විසින් 2020-07–07 වන දින ඉංග්‍රීසි භාෂාවෙන් පල කරන ලද Economic Impact of the Covid19 Pandemic on Sri Lankan Migrants in Qatar ලිපියේ සිංහල අනුවාදය වේ.

2. සංක්‍රමණිකයන්ගේ කුසලතා මට්ටම් වර්ගීකරණය අන්තර්ජාතික කම්කරු සංවිධානයේ (ILO) අන්තර්ජාතික ප්‍රමිතිගත වෘත්තීන් වර්ගීකරණය (ISCO ) මත පදනම්ව කර ඇත.

යොමුව

Asees, M. S. (2018, November 14). Qatar crisis: From the Sri Lankans’ point of view. Daily FThttp://www.ft.lk/columns/Qatar-crisis–From-the–Sri-Lankans–point-of-view/4-666795

Ekanayake, A. (2020, May 17). Covid19 Pandemic and the Labour Migrants in the Gulf Corporation Council (GCC) Region. The Migrant. https://themigrant.data.blog/covid19-pandemic-and-the-labour-migrants-in-the-gulf-corporation-council-gcc-region/

Kiley, S., & Salem, M. (2020, May 9). Coronavirus leaves the Gulf’s migrant workers in limbo, with no income and no easy way out. CNNhttps://edition.cnn.com/2020/05/09/middleeast/uae-migrants-coronavirus-intl/index.html

Money exchanges in Qatar to reopen from today (Tuesday, May 12). (2020, May 12). The Peninsulahttps://thepeninsulaqatar.com/article/12/05/2020/Money-exchanges-in-Qatar-to-reopen-from-today-(Tuesday,-May-12)

Qatar—Migrant remittance. (n.d.). CountryEconomy.Com. Retrieved 5 July 2020, from https://countryeconomy.com/demography/migration/remittance/qatar

SLBFE. (2014). Annual Statistical Report of Foreign Employment—2013 (No. 18; Annual Statistical Report). Sri Lanka Bureau of Foreign Employment.

SLBFE. (2015). Annual Statistical Report of Foreign Employment—2015. Sri Lanka Bureau of Foreign Employment. http://www.slbfe.lk/page.php?LID=1&MID=213

SLBFE. (2016). Annual Statistical Report of Foreign Employment—2016 (No. 21; Annual Statistical Report). Sri Lanka Bureau of Foreign Employment.

SLBFE. (2017). Annual Statistical Report of Foreign Employment—2017. Sri Lanka Bureau of Foreign Employment. http://www.slbfe.lk/page.php?LID=1&MID=220

Sri Lanka- Migrant remittance. (n.d.). CountryEconomy.Com. Retrieved 5 July 2020, from https://countryeconomy.com/demography/migration/remittance/qatar

කතුවරුන්

අනෝජි ඒකනායක ශ්‍රම සංක්‍රමණය, අන්තර්ජාතික ප්‍රජාවන්, අවතැන් වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පර්යේෂණ සිදු කරන පර්යේෂණ වෘත්තිකයෙකි. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව සහ කළමනාකරණය පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ද කොළඹ විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. ගල්ෆ් කලාපයේ සංක්‍රමණිකයන් පිළිබඳ ඇයගේ අධ්‍යන කටයුතු සංක්‍රමණ සහ සංවර්ධනය වැනි විවිධ ජාත්‍යන්තර ප්‍රකාශන වල පළ වී තිබේ. ඇය මේ වන විට එක්සත් රාජධානියේ පර්යේෂණ හා නවෝත්පාදන සඳහා වන ගෝලීය අභියෝගතා පර්යේෂණ අරමුදල (UKRI GCRF) විසින් අරමුදල් සපයනු ලබන එක්සත් රාජධානියේ  ලන්ඩන් ආර්ථික විද්‍යාව පිළිබඳ පාසලේ (LSE) ස්ත්‍රී පුරුෂ සමාජභාවය, යුක්තිය සහ ආරක්ෂාව පිළිබඳ කේන්ද්‍රයේ සංක්‍රමණ සහ අවතැන් වීම පිළිබඳ  ප්‍රවාහයේ පර්යේෂණ සහකාරයෙකු ලෙස සේවය කරයි.

කේ. අමීර්තලිංගම් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයට අනුබද්ධ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු සංක්‍රමණ අධ්‍යනය, අවතැන් වීම්, රාජ්‍ය මූල්‍ය හා ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති පර්යේෂකයෙකු වන අතර සංවර්ධන උපදේශකයෙකු ලෙස ද කටයුතු කරයි. ඔහු එක්සත් රාජධානියේ පර්යේෂණ හා නවෝත්පාදනය පිළිබඳ ගෝලීය අභියෝගතා පර්යේෂණ අරමුදල (UKRI GCRF) විසින් අරමුදල් සපයනු ලබන ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ ස්ත්‍රී පුරුෂ භාවය, යුක්තිය සහ ආරක්ෂාව පිළිබඳ කේන්ද්‍රයේ සංක්‍රමණය හා අවතැන් වීම් පිළිබඳ විධායක කණ්ඩායමේ සාමාජිකයෙකි. සරණාගත අධ්‍යයන ජර්නලය, ආපදා ජර්නලය, සංක්‍රමණ සහ සංවර්ධනය, ශ්‍රී ලංකා ආර්ථික සඟරාව සහ කොළඹ ව්‍යාපාරික සඟරාව වැනි ප්‍රමුඛ ප්‍රකාශන වල ඔහුගේ ලිපි පළ වී තිබේ.

කතුවරුන්ගේ මෑතකාලින ප්‍රකාශන

Ekanayake, A. P., & Amirthalingam, K. (2019). An empirical study of the factors that motivate Sri Lankan professionals to migrate to Qatar. Migration and Development, Advance online publication. https://doi.org/10.1080/21632324.2019.1665923

Ekanayake, A., & Amirthalingam, K. (2020). Impact of migration of Sri Lankan professionals to Qatar on skill acquisition and brain drain. Migration and Development, Advance online publication. http://dx.doi.org/10.1080/21632324.2020.1787106.

මෙම ලිපියට එක්සත් රාජධානියේ  ලන්ඩන් ආර්ථික විද්‍යාව පාසලේ ස්ත්‍රී පුරුෂ භාවය, යුක්තිය සහ ආරක්ෂාව පිළිබඳ කේන්ද්‍රයෙන් ලද සහය කතුවරයන් කෘතඥපූර්වකව සිහි කර සිටී.

Create your website with WordPress.com
Get started
%d bloggers like this: