ආචාර්ය අනෝජි ඒකනායක
මෙම ලිපිය 2024 අගෝස්තු 30 වැනි දින මෙම අඩවියේ ඉංග්‍රීසි බසින් පළ වූ කතුවරයාගේ ලිපියේ සිංහල පරිවර්තනයයි. ඉංග්‍රීසි ලිපියට මෙතැනින් පිවිසෙන්න.

2022 ආර්ථික අර්බුදයේ කල්පවත්නා ප්‍රතිවිපාකවලට තවමත් මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකිකයන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයේදී අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සුදුසු නායකයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ය. නුදුරේදීම ලියාපදිංචි ඡන්ද දායකයින් මිලියන 17කට ආසන්න පිරිසකට ඡන්දය ප්‍රකාශ කර මීළඟ නායකයා තෝරා ගැනීමට අවශ්‍ය ඡන්ද කාඩ්පත් ලැබෙනු ඇත. එහෙත්, මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය මධ්‍යයේ, සැලකිය යුතු කණ්ඩායමකට – එනම් විදේශයන්හි වෙසෙන මිලියන 1.5 ත් 2 ත් අතර ශ්‍රී ලාංකික පුරවැසියන්ට – තම මව්බිමේ අනාගතය හැඩගැස්වීමට සහභාගී වීමට නොහැකි වනු ඇත.
මෙම එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසාරව පවත්වාගෙන යාම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 25% ක් මෙම එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් වන අතර, ඔවුන් දේශීය රැකියා වෙළඳපොලේ පීඩනය සමනය කිරීමට සහ රටේ විරැකියා අනුපාත අඩු මට්ටමක තබා ගැනීමට උපකාරී වේ. තවද විදේශ ණය බරින් මිරිකී සිටින රටකට, ඇඟලුම්, සංචාරක හා තේ වැනි සාම්ප්‍රදායික අංශවලින් ඉපැයීම් ඉක්මවන විදේශිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ජීවනාලියක් වේ. මෙම ප්‍රේෂණ මගින් රටේ විදේශ විනිමය අවශ්‍යතා ලිහිල් කරමින් ජාතික ආර්ථිකයට අත්‍යවශ්‍ය පරිභෝජනය සහ ප්‍රාග්ධනය සපයයි. නිදසුනක් වශයෙන්, 2019 දී, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක් වූ අතර, එය ජාතියේ සමස්ත විදේශ විනිමය ඉපැයීම්වලින් 56% ක් විය. තවද මෙම ප්‍රේෂණ දළ දේශීය නිෂ්පාදිතයට 7.8% ක දායකත්වයක් සපයන ලදී. එහෙත් ඔවුන්ට ලංකාවේ සෑම මැතිවරණයක්ම ඈත සිට කලකිරීමෙන් සහ අසරණ හැඟීමකින් බලා සිටීමට සිදු වේ.
මෙම මිලියන දෙකකට ආසන්න විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු කොටසක් මූලික වශයෙන් මැද පෙරදිග රටවල ‘රැකියා වීසා’ මත තාවකාලිකව රැඳී සිටින සංක්‍රමණික ශ්‍රමිකයෝ වෙති. ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය සහ එක්සත් රාජධානිය වැනි බටහිර රටවල සිටින විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙන් නොව, මෙම සංක්‍රමණික ශ්‍රමිකයින්ට කොපමණ වසර ගණනක් මැදපෙරදිග රටවල සේවය කලත් එම රට වල ස්ථිර පදිංචි වීමේ ක්‍රමයක් නොමැත. ඔවුන්ගේ සංක්‍රමණ ගමන ශ්‍රී ලංකාවට ආපසු පැමිණීම හා බැඳී ඇති අතර, ප්‍රේෂණ හරහා වන ඔවුන්ගේ ආර්ථික දායකත්වය මේ නිසා වඩාත් වැදගත් වේ. 2019 දී, මැද පෙරදිග පදනම් කරගත් සංක්‍රමණික සේවකයින් පමණක් මුළු ප්‍රේෂණවලින් 51.5% කට දායක වීම ඔවුන් මැතිවරණ ක්‍රියාවලියට ඇතුළත් කිරීමේ වැදගත්කම අවධාරනය කරයි.
2019 ජනාධිපතිවරණයේදී තම ඡන්දය පාවිච්චි කිරීමේ අරමුණින් ලංකාවට පැමිණි ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයන් ගැන කතාබහක් ඇති වුවද යථාර්ථය නම් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් අති බහුතරයකට ඡන්දය දීමට පමණක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකියාවක් නොමැති බවයි. බොහෝ විදේශගත ශ්‍රී ලාංකිකයන් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, නත්තල සහ රාමසාන් වැනි උත්සව සමයන්හිදී ශ්‍රී ලංකාවට පැමිණීමට තම වටිනා වාර්ෂික නිවාඩු වෙන් කර ගෙන සිටිති. එබැවින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඉමහත් සේවයක් කරන රටේ නීත්‍යානුකූල පුරවැසියන් වුවද, සෑම මැතිවරණයකදීම ඡන්දය දීමට නොහැකි ‘අමතක වූ ඡන්දදායකයින්’ පිරිසක් ලෙස මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පසෙකට වී සිටීමට සිදුව තිබේ. ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් සැලකිය යුතු 9% ත් 12% ත් අතර ප්‍රමාණයක් වන මෙම මිලියන 1.5 ත් මිලියන 2 ත් අතර වන විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ ඕනෑම මැතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළ හැකි ප්‍රතිශතයකි.
දශක දෙකකට වැඩි කාලයක් පුරා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විදේශ ගතව සිටියදීම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීම පිළිබඳ සාකච්ඡා පැවතියද, ඒ සම්බන්ධයෙන් සිදුවී ඇත්තේ ඉතා සුළු ප්‍රගතියකි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සහ ශ්‍රී ලංකාව විසින් අනුමත කරන ලද සංක්‍රමණික කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යන සියල්ලෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් ගේ ඡන්ද අයිතිය සහතික කර ඇත. තවද, 2008 ශ්‍රී ලංකා ජාතික සංක්‍රමණ ප්‍රතිපත්තිය සහ 2011-2016 මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම ද එතෙර පුරවැසියන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමේ වටිනාකම හඳුනාගෙන ඇත.
රට ගිය ඇත්තෝ, ප්‍රජා සංවර්ධන සේවා (Community Development Services), සංක්‍රමණික කම්කරුවන් සඳහා වූ ක්‍රියාකාරී ජාලය (ACTFORM), සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (PAFFREL) වැනි සිවිල් සමාජ සංවිධාන සහ සංක්‍රමණික අයිතිවාසිකම් කණ්ඩායම් වසර ගණනාවක් තිස්සේ මෙම විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට විදේශ රට වලදීම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීම පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සාකච්චා පවත්වා ඇත. එහෙත්, වර්තමාන සහ පසුගිය මැතිවරණ දෙකෙහිම බොහෝ ජනාධිපති අපේක්ෂකයින් විදේශ රටවල ප්‍රචාරක කටයුතුවල නිරත වූ නමුත්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීමට ප්‍රතිපාදන සකස් කර නොමැත. විටින් විට මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු පිහිටුවා ඇතත් (උදා: 2016 අප්‍රේල් සහ 2021 මැයි), පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීමට හෝ විදේශීය ඡන්දය ප්‍රකාශ කිරීම යථාර්ථයක් බවට පත් කිරීමට සැලකිය යුතු පියවරක් ගෙන නොමැත.
ගෝලීය වශයෙන්, අනේවාසික පුරවැසියන්ට විදේශයක සිට මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය ප්‍රතිපාදන සම්පාදනය කර නොමැති රටවල් කිහිපයෙන් ශ්‍රී ලංකාව එකකි. 2020 වන විට, රටවල් 141 ක් නේවාසික නොවන පුරවැසියන්ට තම මව් රටේ මැතිවරණයට සහභාගී වීමට හැකි නීතිමය රාමු ක්‍රියාත්මක කර ඇත.
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දීම මිල අධික කටයුත්තක් ලෙස සැලකිය හැකි වුවද, ශ්‍රී ලංකාව වැනි බොහෝ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් එවැනි ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. නිදසුනක් වශයෙන්, පිලිපීනය, ශ්‍රී ලංකාව වැනි විශාල සංක්‍රමණික ජනගහනයක් සිටින රටක් වුවද ඔවුන් 2003 දී එතෙර සිට ඡන්දය ප්‍රකාශ කිරීම නීතිගත කළ අතර, 2004 සිට එතෙර සිටින තම පුරවැසියන්ට මැතිවරණවලට සහභාගී වීමට අවකාශය සලසා දුන්නේය. අනෙක් අතට, බංග්ලාදේශය, පකිස්ථානය, ඉන්දියාව සහ නේපාලය වැනි දකුණු ආසියාතික රටවල් තවමත් විදේශයන්හි සිට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සංවිධානය කර නොමැති නමුත්, ඔවුන් පිළිවෙලින් 2009, 2013, 2015 සහ 2018 දී පිටස්තර සිට ඡන්ද ප්‍රකාශ කිරීමේ නීති සම්මත කර ඇත. මෙය මෙම රටවල් නිවැරදි දිශාවට තැබූ පියවර සටහන් ලෙස සැලකිය හැකිය.
රටවල් එකොළහක් (ක්‍රොඒෂියාව, ප්‍රංශය, ඉතාලිය, පෘතුගාලය, ඇල්ජීරියාව, ඇන්ගෝලා, කේප් වර්ඩ්, මොසැම්බික්, කොලොම්බියාව, ඉක්වදෝරය සහ පැනමාව) ඔවුන්ගේ එතෙර සිටින පුරවැසියන්ට එතෙර සිටම ජන්දය ප්‍රකාශ කිරීමට ක්‍රම සම්පාදනයෙන් නොනැවතී තවත් පියවරක් ඉදිරියට ගොස්, ජාතික ව්‍යවස්ථාදායකයට ඔවුන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. එමඟින් විදේශ ගතව සිටින පුරවැසියන්ට ආවේනික අවශ්‍යතා වඩාත් කාර්යක්ෂමව ඉටු කරලීම අරමුණු කරයි.
විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දෙන රටවල් ඒ සම්බන්ධයෙන් විවිධ ක්‍රම භාවිතා කරයි:
- පුද්ගලික ඡන්දය: රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල හෝ විදේශයන්හි විශේෂයෙන් නම් කරන ලද ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කිරීම. විදේශයන්හි සිට ඡන්දය ප්‍රකාශ කිරීමේ වඩාත් පොදු ක්රමය මෙයයි.
- තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම: තෝරාගත් ස්ථානයක සිට ඡන්දය ප්‍රකාශ කිරීම සහ එය සාමාන්‍ය තැපෑලෙන් මව් රටට යැවීම. මෙහිදී ඇතැම්විට ඡන්දදායකයාගේ අනන්‍යතාවය සහ නිදහස් කැමැත්ත තහවුරු කිරීමට සාක්ෂිකරුවන්ට අවශ්‍ය වේ.
- ප්‍රොක්සි ඡන්දය ප්‍රකාශ කිරීම: තමා වෙනුවෙන් නම් කරන ලද නියෝජිතයෙකුට (ප්‍රොක්සියෙකුට) උපන් රටේදී හෝ විදේශයකදී ඡන්දදායකයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දීම.
- ඉලෙක්ට්‍රොනික ඡන්දය: ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අන්තර්ජාලය, ජංගම දුරකථන හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය භාවිතා කිරීම.
සමහර රටවල් මෙම ක්‍රමවල සංයෝජනයකට ඉඩ දෙන අතර අනෙක් ඒවා තනි ප්‍රවේශයක් භාවිතා කරයි.
ශ්‍රී ලංකාවට මෙම සියලු ක්‍රම එකවර අනුගමනය කිරීමට අවශ්‍ය නොවන අතර, විදේශ ගත ශ්‍රී ලාංකිකයින් සිටින සෑම රටකම එකවර විදේශ ඡන්දය ක්‍රියාත්මක කිරීම ද අවශ්‍ය නොවේ. ක්‍රමානුකූල හඳුන්වාදීමක් මඟින් මුහුණ දෙන අභියෝග හමුවේ පද්ධතිය පරිණාමය වීමටත්, ක්‍රියාවලියේ ආරක්ෂිත සහ විනිවිද භාවය සහතික කිරීමටත් ඉඩ සැලසේ. මද පිරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් බහුතරයක් නැවත ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණීමට අදහස් කරන නිසා පළමු අදියරේදී මැදපෙරදිග සංක්‍රමණිකයන් සඳහා විදේශීය ඡන්දය හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය. පසුව, ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංක්‍රමණිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින ගමනාන්ත වෙත පද්ධතිය ව්‍යාප්ත කළ හැකිය..
සාරාංශය
මැතිවරණ ක්‍රියාවලියට එතෙර පදිංචිකරුවන් ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම, සර්වජන ඡන්ද බලය සහ අයිතීන් පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය හෑල්ලු කිරීමට ලක් කිරීමක් වනවා පමණක් නොව, ජාතික ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන පුරවැසියන් කොටසක් නොසලකා හැරීමක් ද වේ. රට තවත් තීරණාත්මක මැතිවරණයකට ළං වන මේ මොහොතේ, ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම ප්‍රශ්නයට අවධානය යොමු කිරමින් ලොව කොතැනක සිටියත් ශ්‍රී ලාංකිකයින්ට තම මව්බිමේ අනාගතය වෙනුවෙන් හඬක් නැගීමට අයිතියක් ඇති බව සහතික කිරීම අත්‍යවශ්‍ය වේ.
එතෙර සිට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සාධාරණ සහ ප්‍රවේශ විය හැකි ක්‍රමයක් හදුන්වා දීම, ශ්‍රී ලංකාව සිය පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ගරු කරනවා යන්න ඉගි කරනවා පමණක් නොව, රටේ ඉතා වැදගත් ආර්ථික හවුල්කරුවන් වන විදෙස්ගත ශ්‍රමිකයින් සමඟ ඇති සබඳතාව ශක්තිමත් කර ගැනීමටත් මඟ පාදයි. මෙම ක්‍රියාවලියේදී විදෙස් ගතව සිටිය දී ඡන්දය ප්‍රකාශ කිරීම සාර්ථකව සිදු කර ඇති අනෙකුත් රටවල අත්දැකීම් ශ්‍රී ලංකාවට වටිනා මාර්ග සිතියමක් සපයනු ඇත.
මුලාශ්‍ර
ACE Electoral Knowledge Network. (n.d.). Out of Country Voting. The Ace Project: The Electoral Knowledge Network. Retrieved August 27, 2024, from https://aceproject.org/ace-en/topics/va/annex/country-case-studies/the-philippines-the-first-experience-of-external
Colombage, Q. (2017, June 30). Voting rights of Sri Lankan migrant workers “not a priority” [News]. Union of Catholic Asian News. https://www.ucanews.com/amp/voting-rights-of-sri-lankan-migrant-workers-not-a-priority/79629
Election Commission. (2023). Comparative note on the number of registered voters registered according to the electoral district 2014-2023. Election Commission. https://elections.gov.lk/en/voters/voters_statistics_E.html
Fierro, C. N., Morales, I., & Gratschew, M. (2007). External voting: A comparative overview. In Voting from Abroad: The International IDEA Handbook. Institute for Democracy and Electoral Assistance and The Federal Electoral Institute of Mexico.
International Organisation for Migration. (2022). Migration Governance Indicators – Sri Lanka Second Profile 2021.
Kirinde, C., & Nasry, L. (2001, December 2). Barred from the ballot. The Sunday Times. https://www.sundaytimes.lk/011202/plusm.html
Mahanamahewa, P. (2015, January 6). Migrant workers’ voting rights. Daily Mirror. https://www.dailymirror.lk/opinion/migrant-workers-voting-rights/172-60467
Nadja Braun, & Gratschew, M. (2007). Introduction. In Voting from Abroad: The International IDEA Handbook. Institute for Democracy and Electoral Assistance and The Federal Electoral Institute of Mexico.
Sarah Hannan. (2020, February 2). Call for voting rights [News]. The Morning. https://themorning.lk//articles/69433
SLBFE. (2023). Annual Statistical Report of Foreign Employment—2022 (Annual Statistical Report 27). Sri Lanka Bureau of Foreign Employment.
Wellman, E. I., Allen, N. W., & Nyblade, B. (2022). The Extraterritorial Voting Rights and Restrictions Dataset (1950–2020). Comparative Political Studies. https://doi.org/10.1177/00104140221115169
කතුවරයා ගැන
අනෝජි ඒකනායක යනු සංක්‍රමණ සහ අවතැන් වීම් සම්බන්ධයෙන් වන පර්යේෂණ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති පර්යේෂකයෙකි. ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් අතර, එහිදී ඇයගේ පර්යේෂණ අවධානය යොමු කළේ ගල්ෆ් කලාපයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංක්‍රමණිකයන් වෙතය. ඇයගේ ශාස්ත්‍රීය දායකත්වය විවිධ ජාත්‍යන්තර සඟරාවල ප්‍රකාශයට පත් කර ඇත. දැනට, ඇය සංක්‍රමණ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (CMRD) ජ්‍යෙෂ්ඨ පර්යේෂකවරියක් ලෙස සේවය කරයි. CMRD හා සම්බන්ධ වීමට පෙර, ඇය ලන්ඩන් ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යා පාසලේ (LSE) ස්ත්‍රී පුරුෂ භාවය, යුක්තිය සහ ආරක්ෂාව (Gender, Justice and Security Hub) සඳහා වූ මධ්‍යස්ථානය සමඟ අනුබද්ධව කටයුතු කළාය.
දිනය: 3/9/2024